ගෝඨා ගැන ඇමෙරිකන් තානාපති මහින්දට කී දේ


-13
17 shares, -13 points

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා බදුල්ල සහ බණ්ඩාරවෙල බලා පිටත්ව ගියේ විවෘත කිරීම් කිහිපයකට සහභාගි වීමටය. කොළඹ සිට බණ්ඩාරවෙල දක්වා හෙලිකොප්ටරයෙන් ගමන් කිරීමට ඔහු සූදානමින් සිටියේය. එහෙත් අයහපත් කාලගුණ තත්ත්වය නිසා හෙලිකොප්ටරයෙන් එහි යාමට නොහැකි විය. මේ නිසා උදෑසන පහ වනවිට සිය නිවසින් පිටත්වූ ඔහු මෝටර් රථයෙන්ම බණ්ඩාරවෙලට පිටත්ව ගියේය. බණ්ඩාරවෙල පාසල් ගොඩනැගිල්ලක් සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වූ මෛත්‍රී දිවා ආහාරය ගැනීමට ගියේ ඉහළ ඇල්ල ප්‍රදේශයේ ඇති චාමර සම්පත් දසනායක මහ ඇමැතිවරයාගේ හෝටලයකටය.
දිවා ආහාරය ගත් මෛත්‍රී ඇතුළු පිරිස විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලය විවෘත කිරීමට එක්විය. මෛත්‍රී සමග එයට ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාද පැමිණ සිටියේ අනෙක් පසින් හරීන් ප්‍රනාන්දු සිටියදීය. ඔවුන් දෙදෙනා දිස්ත්‍රික්කයේ පමණක් නොව පක්ෂ දේශපාලනයේද පසමිතුරන් වන නමුත් මෛත්‍රී මැදිකරගෙන ඔවුන් දෙදෙනා දීර්ඝ වේලාවක් කතා කරමින් සිටියේ රටේ දේශපාලනය ගැනය.

ගම හදන වැඩ

මෛත්‍රී පසුගිය සතියේදී ග්‍රාමශක්ති – ගම හදන ගමන වැඩසටහනට එක්වූයේ එක්සත් ජාතික පක්ෂයෙන් ගම් පෙරළිය නමින් ග්‍රාමීය ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටියදීය. ගම්වල ඇති ප්‍රශ්න ගැන මෛත්‍රීට ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා මෙම වැඩසටහන සකස් කර තිබුණේය. ඒ අනුව මුල්ම වැඩසටහන පැවැත්වීමට තෝරාගෙන තිබුණේ පුත්තලම, මැදගොඩ ගම්මානයයි. පුත්තලම දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ‍ලේකම් කොට්ඨාසයක්ම ආවරණය වන පරිදි රාජ්‍ය නිලධාරීන්ට හා ග්‍රාමීය නායකයන්ට ආරාධනා කර තිබුණේ ඔවුන්ගේ ගැටලු රැගෙන එන ලෙස දන්වමිනි.
මෛත්‍රී එහි පැමිණියේ පාලිත රංගේබණ්ඩාර රාජ්‍ය ඇමැතිවරයා සමගය. මෛත්‍රී ජනතාවගෙන් ග්‍රාමීය ගැටලු ගැන කරුණු විමසන විට ගමක වැවක් ප්‍රතිසංස්කරණය නොකිරීම ගැන කරුණු ඉදිරිපත් විය
“මොකද මේ වැවේ ප්‍රශ්නය විසඳන්නේ නැත්තේ” මෛත්‍රී විමසුවේය
“සර් මේ වැවේ එක ඉවුරක් අයිති එක පළාත් සභාවකට. අනිත් ඉවුර අයිති අනෙක් පළාත් සභාවකට. ඒ නිසා කවුරුවත් මේ වැව හාරලා දෙන්නේ නෑ” මෛත්‍රීට කරුණු ඉදිරිපත් විය.
“සර් මේ වැව වාරිමාර්ගයට දෙනවා නම් අපි ඒක අරගෙන හදලා දෙන්නම්. මේ අවුරුද්දේම අපි ඒක හදන්න ගන්නම්” පාලිත රංගේබණ්ඩාර කීවේය.
“මොකද පළාත් සභාවේ මහ ඇමැතිතුමා කියන්නේ. මේක දෙන්න කැමැතිද” මෛත්‍රී ඇසුවේය. එයට පළාත් සභා මහ ඇමැතිවරයාගේ විරෝධයක්ද නොවීය. ඒ නිසා මෛත්‍රී කීවේ වැවේ කටයුතු වාරිමාර්ගයට භාරදෙන ලෙසය.
මේ අතර මාර්ග සංවර්ධනයට අදාළ ප්‍රශ්නයක් පැමිණියේ එම මාර්ගයේ සංවර්ධන කටයුතු කිසිදු ආයතනයකින් සිදු නොවීම නිසාය.
“මේ පාර කාටද අයිති” මෛත්‍රී විමසුවේය.
“මේක අයිති පළාත් සභාවට” මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් කීවේය.
“නෑ. මේක අපිට නමෛයි අයිති. මේක අයිති මාර්ග සංවර්ධන අධිකාරියට. පළාත් සභාවේ නිලධාරීහුද තමන්ගේ ඇඟ බේරාගැනීමට උත්සාහ ගත්හ.
“ආසන සංවිධායකතුමා කෝ? එතුමා මැදිහත්වෙලා මේක හදන්න. මට පේන්නේ පාර්වල් අයිති කාටද කියලවත් මේ අය දන්නේ නෑ. මුලින්ම තමන්ට අයිති පාරවල් මොනවද කියලා රි‍පෝට් එකක් හදාගන්න. කාට අයිතිය තිබුණත් ආසන සංවිධායකතුමා එක්ක එකතුවෙලා මාර්ග සංවර්ධන අධිකාරිය මේක හදන්න”මෛත්‍රී උපදෙස් දුන්නේය.

වෙඩි වැදුන හිමිනම

කතරගම, කිරිවෙහෙර විහාරාධිපති හිමියන්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වූ බවට ලැබුණ ආරංචියත් සමග මෛත්‍රී වහාම රෝහල් බලධාරීන් අමතමින් මේ ගැන විමසා තිබුණේය. ස්වාමීන් වහන්සේගේ තත්ත්වය ගැන විමසා බැලූ මෛත්‍රී උන්වහන්සේ කොළඹ රෝහලකට ගෙන ඒමට ඇති හැකියාව ගැන සොයා බැලුවේය. ඒ අනුව උන්වහන්සේ ගුවනින් එහි ගෙන ඒමට අවධානය යොමුවිය. වහාම මෛත්‍රී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පතිට දුරකථන ඇමතුමක් ගත්තේය.
“කිරිවෙහෙරේ නායක හාමුදුරුවෝ කොළඹ රෝහලකට ඇතුළත් කරන්න ඕන. ඒ නිසා දැන්ම හෙලිකොප්ටරයක් යවන්න. වෛද්‍ය කණ්ඩායමකුත් එක්ක ඒ හෙලිකොප්ටරය යවන්න” මෛත්‍රී උපදෙස් දුන්නේය.
ඒ අනුව උන්වහන්සේ හම්බන්තොට සිට ගුවනින් කොළඹ පුද්ගලික රෝහලකට ගෙන එනු ලැබිය.
“හාමුදුරුවන්ගේ රෝහ‍ලේ බිල ගෙවන්න වැඩපිළිවෙළක් හදන්න. ඒක උන්වහන්සේට බරක් කරන්න එපා” මෛත්‍රී තමන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට උපදෙස් දුන්නේය.

මෛත්‍රීගෙන් මල්

ජනාධිපතිවරයාගේ දීර්ඝ කාලීන මිතුරකුද වන ජනපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය සතියේදීය. එදින උදෑසන මෛත්‍රී ජනාධිපති ‍ලේකම් කාර්යාලයට ගියේ මල් බොකියක්ද රැගෙනය. එය රැගෙන ඔහු ගියේ ජනාධිපති ‍ලේකම්වරයාගේ කාමරයටය. ඒ වන විට ජනාධිපති ‍ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ‍ලේකම් කාර්යාලයේ කිසියම් රාජකාරියක යෙදී සිටියේය. ඔහුට මල් බොකිය දෙමින් මෛත්‍රී සුබ පැතුවේය.
මේ අතර පරිසර නියෝජ්‍ය ඇමැති ලෙස දිවුරුම් දුන් අජිත් මාන්නප්පෙරුම වැඩ භාරගන්නා අවස්ථාවට මෛත්‍රී පැමිණියේය. ඔහු පැමිණ පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන් සමග අමාත්‍යාංශයේ කටයුතු ගැනත් සාකච්ඡා කළේය. ඒ අතර සිංහරාජයේ අලි ප්‍රශ්නයක් ගැන කතාවක් ඇදී ආවේය.
“අධ්‍යක්ෂ ජනරාල්තුමා, මොකක්ද මේ ප්‍රශ්නයට කරන්න හදන්නේ” මෛත්‍රී විමසුවේ අසල අමාත්‍යාංශ ‍ලේකම්වරයාද තබාගෙනය.
“අලි දෙන්නෙක්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ. මේ අලි දෙන්නා ගම් වදිනවා. ඒ නිසා වෙනත් තැනකට අලි දෙන්නා අරගෙන යන්න තමයි බලන්නේ” නිලධාරීහු පැවැසූහ.
“සිංහරාජය කියන්නේ ලෝක උරුමයක්. ඒකෙන් අලි දෙන්නා ඉවත් කරනවා නම් ඒක ක්‍රමවේදයක් අනුව කළ යුතු දෙයක්. මේ අලි දෙන්නා සිංහරාජයේ තියලා ගන්න ඕන අනෙක් පියවර ගන්න” මෛත්‍රී උපදෙස් දුන්නේය.

චම්පික මෛත්‍රීට එරෙහි වේ

සුපුරුදු පරිදි මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූයේ ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදීය. උපාධිධාරීන්ට රැකියා දීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුවලට විසඳුම් ලබාගැනීමට වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබුණේ රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිවරයාය.
“රැකියා දීමේදී විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර සිසුන්ට ප්‍රමුඛතාවය දෙන්න” මෛත්‍රී උපදෙස් දුන්නේය.
“ඒක හරි ජනාධිපතිතුමා, බාහිර උපාධිධාරීන් බොහෝ වෙලාවට රැකියාවක් කරන ගමන් තමයි උපාධිය හදාරන්නේ. ඒ අයට ලොකු ප්‍රශ්නයක් නැහැ. විශ්වවිද්‍යාල අභ්‍යන්තරයේ ඉන්න අය එහෙම රැකියා කරන්නේ නෑ. උපාධිධාරීන්ට පත්වීම් දෙනකොට තමන් කරමින් හිටපු රස්සාව අත්හැරලා උපාධිධාරීන් එතැනට එනවා. එතකොට අභ්‍යන්තර උපාධිධාරීන්ට තියෙන අවස්ථාවන් අඩුවෙනවා” හිටපු සිවිල් සේවා නිලධාරියකු වන ආචාර්ය සරත් අමුණුගම ඇමැතිවරයා මෛත්‍රීගේ සහායට අදහස් දැක්වූවේය.
“මේ දෙගොල්ලෝම එක හා සමානයි. ඒ නිසා බාහිර උපාධිධාරීන් හා අභ්‍යන්තර උපාධිධාරීන් කියලා වෙන් කිරීමක් කරන්න බෑ. ඒක අසාධාරණයි. ඒ විදියට දෙගොල්ලෝ වෙන් කරන්න ගියොත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වෙනවා” පාඨලී චම්පික රණවක ඇමැතිවරයා මෛත්‍රීගේ අදහසට විරුද්ධ අදහසක් දැක්වූවේය.
“උපාධිධාරීන්ට පත්වීම් දීමේදී පසුගිය ආණ්ඩුවත් වැරදි කළා. හැමෝටම රස්සා දුන්නා. හැබැයි ඒකෙන් අභ්‍යන්තර උපාධිධාරීන්ට අසාධාරණයක් වුණා” කබිර් හෂීම් ඇමැතිවරයා අදහස් දැක්වූවේ මෛත්‍රීට පක්ෂවය.
“මම කියපු කතාව හරියට තේරුම් ගන්න. මම කිව්වේ අභ්‍යන්තර උපාධිධාරීන්ට පුමුඛතාව දෙන්න කියලා මිසක් රැකියා දෙන්න එපා කියලා නෙමේ” මෛත්‍රී කරුණු පැහැදිළි කරන විට ඔහුගේ සහායට ආවේ රාජිත සේනාරත්න ඇමැතිවරයාය.
“මෙතැන වෙනසක් තියෙනවා. චම්පික රණවක ඇමැතිවරයාගේ මතයට මම එකඟ වෙන්නේ නෑ. විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර ශිෂ්‍යයෙක් කියලා කියන්නේ තරග විභාගයකින් ඉහළම ලකුණු ගන්න අය. ඒ අය තමයි විශ්වවිද්‍යාලවලට තේරෙන්නේ. තරග විභාගවලින් අඩු ලකුණු ගන්න අයටත් බාහිර උපාධිය කරන්න පුළුවන්. ඒ නිසා මේ දෙකම එක හා සමාන නෑ. අනෙක අභ්‍යන්තර උපාධිධාරීන් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න එක විතරයි කරන්නේ. ඒත් බාහිර උපාධිධාරීන් ඉගෙනුම් කටයුතු කරද්දී වෙනත් රැකියා කරනවා. ඒ නිසා මම ජනාධිපතිතුමාගේ මතයට එකඟයි” රාජිත කියමින් මෛත්‍රී ආරක්ෂා කරගත්තේය.
මේ අතර අලුතින් සමෘද්ධිලාභීන්ට සමෘද්ධිය දීම සම්බන්ධයෙන් අදහස් මතුවිය. ඒ යෝජනාව ගෙන ආවේ පී. හැරිසන් ඇමැතිවරයාය.
“අලුතින් ලක්ෂ අටකට සමෘද්ධි දීමනාව දෙන්න ඕන. එයින් ලක්ෂ එකහමාරකට මුලින්ම සමෘද්ධිය දෙන්න” හැරිසන් ඉල්ලා සිටියේය.
“අපි මේ ලක්ෂ එකහමාරට සමෘද්ධිය දෙනවා. ඊට පස්සේ නිශ්චිත අධ්‍යයනයකින් සහ සමීක්ෂණයකින් පසුව ඉතිරි පිරිසට කඩිනමින් සමෘද්ධිය දෙන්න කටයුතු කරනවා” මංගල සමරවීර සමෘද්ධි සහනාධාරය දෙන ආකාරය පැහැදිලි කළේය.
“දැනට සමෘද්ධිය ලැබෙන අයගේ සමෘද්ධිය කපන්න එපා”ඒ ඉල්ලීම පැමිණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමැතිවරයෙක්ගෙන්ය.
“ආදායම් සීමාව පැන්නේ නැති සියලුදෙනාටම අපි සමෘද්ධිය දෙනවා. එහෙම කපන්නේ නෑ” මංගල සහතිකයක් දුන්නේය.
සමෘද්ධි කතාව අවසන් වනවිට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුවූයේ උතුරේ ධීවරයින්ගේ ප්‍රශ්න වෙතය.
“දකුණේ ධීවරයින් උතුරු මුහුදු සීමාවට ඇවිත් මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙනවා. ඒක උතුරේ ධීවරයින්ට විශාල ප්‍රශ්නයක්” මනෝ ගනේෂන් උතුරේ ධීවර ගැටලුවක් මතු කළේය.
“මේක සාම්ප්‍රදායිකව කරපු වැඩක්. ඒ නිසා මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ. දකුණේ වාරකන් කාලයට ධීවරයෝ උතුරු පළාතේ ධීවර කටයුතුවලට එනවා. ඒක අද ඊයේ වුණ දෙයක් නමෛයි” ධීවර ඇමැති විජිත් විජිතමුණි සොයිසා කීවේය.
“නෑ… මේකේ වෙනසක් තියෙනවා. යුද්ධය කාලයේදී උතුරේ ධීවරයින් ධීවර කටයුතුවලින් ඈත්ව සිටියා. දකුණේ අයට විශාල ධීවර යාත්‍රා තියෙනවා. උතුරේ අයට තියෙන්නේ කුඩා ධීවර යාත්‍රා. එංජින් ධාරිතාව ඉතා ඉහළ හා විශාල යාත්‍රා සමග උතුරේ ධීවරයින්ට තරග කරන්න බෑ.මේක සම්ප්‍රදායක් නමෛයි. මම ධීවර ඇමැති වෙලා ඉන්න කා‍ලේ මේවාට සීමා දාලා තිබුණා. විශාල යාත්‍රා ඇවිත් මාළු අල්ලගෙන ගියාම උතුරේ ධීවරයින්ට අල්ලන්න මාළු නෑ. එහෙම කියලා උතුරේ ධීවරයින් දකුණු මුහුදු සීමාවට එන්නේ නෑ”රාජිත සේනාරත්න ඇමැතිවරයා පැහැදිළි කළේය.
“මම එන්න කලින් මහින්ද අමරවීර ඇමැතිතුමාගේ කා‍ලේ හිටපු නිලධාරීන් තමයි මේ ගැන සොයා බලන්නේ නැතිව කටයුතු කළේ. මම මේ ගැන සොයා බලා ඉදිරියේදී කටයුතු කරන්නම්”විජිත් විජිතමුණි තමන්ගේ ඇඟ බේරාගත්තේය.

ප්‍රසන්නට මහින්ද ළඟට යන්න බැරිවේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය සෙනසුරාදා ගම්පහ, කිරිල්ලවල බලා පිටත්ව ගියේ දිවංගත එස්. ඩී. බණ්ඩාරනායකගේ පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වීමටය. මෙම උත්සවයට සහභාගි වීමට ඒකාබද්ධ විපක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරු කණ්ඩායමද පැමිණ සිටියේ මහින්ද එහි පැමිණෙන නිසාය.
“ආ.. එන්න මන්ත්‍රීතුමා ඉස්සරහට. දැන් ඉතිං යහපාලනේ කට්ටිය ඉස්සරහට එන කාලෙනේ. එයාලට දැන් තමයි අපි මතක් වෙලා තියෙන්නේ” එවැනි කතාවක් ඇති වුණේ සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ මන්ත්‍රීවරිය එහි පැමිණ සිටි නිසාය.
“මේ අය එනවාට අපි අකමැති නෑ. හැබැයි එන අය කෙළින් එන්න ඕන” ප්‍රසන්න කීවේ සුදර්ශනීට ඇනුම් පදයක් කියමිනි. සුදර්ශනී මහින්ද සමග සමීපව කටයුතු කරනවාට ප්‍රසන්නගේ වැඩි කැමැත්තක් නැත.
මේ අතර උත්සව භූමියට පැමිණි මහින්ද පිළිරුව විවෘත කරන්න පෙර ප්‍රසන්න කොහිදැයි බැලුවේය. ඒ වන විටත් බොහෝ දෙනා මහින්ද වටකරගෙන සිටි නිසා ප්‍රසන්න සිටියේ මඳක් පසුපසට වන්නටය.
“මන්ත්‍රීතුමා සර් හොයනවා” මහින්දගේ ආරක්ෂක නිලධාරියෙක් ප්‍රසන්න අසලට පැමිණ කීවේය. එතැන තිබූ තදබදය නිසා ප්‍රසන්නට ඒ අසලට යාමටවත් නොහැකි විය. එහෙත් උත්සවයෙන් පසුව මහින්ද ඒකාබද්ධයේ මන්ත්‍රීවරු තමන් අසලට කැඳවා ගත්තේය. ඒ රටේ දේශපාලනය ගැන කතා කිරීමටය.

ඇමෙරිකානු තානාපති මහින්දගේ ගෙදර

මෙරට සිටින ඇමෙරිකානු තානාපති අතුල් කේෂාප් පසුගිය සතියේදී මහින්දගේ නිවසට පැමිණියේ සිය පවු‍ලේ සාමාජිකයින් සමගය. මහින්දගේ පුද්ගලික ‍ලේකම් උදිත ලොකුබණ්ඩාර සමග මහින්ද එතැනට පැමිණ සිටියේය. අතුල් කේෂාප් රටේ දේශපාලනය ගැන අදහස් දැක්වූවේය. පැයකට වඩා වැඩි කාලයක් තිස්සේ පැවැති සාකච්ඡාව අතරවාරයේදී ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ගැනත් අවධානය යොමු කළේය. මේ සාකච්ඡාවෙන් පසුව යාපනයේ පළවන දෙමළ පුවත්පතක් වාර්තා කළේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් ඇමෙරිකාව සිය අප්‍රසාදය පළ කර ඇති බවය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු තානාපති කාර්යාලය සිටින්නේ නිහඬ ප්‍රතිපත්තියකිනි. ඒ ගැන විමසූ විට තානාපති කාර්යාලය පවසන්නේ මෙය තානාපතිවරයාගේ පුද්ගලික හමුවක් බවත් ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලයට නිල ප්‍රතිචාරයක් දැක්විය නොහැකි බවත්ය.
මේ ගැන උත්සවයකට සහභාගි වෙමින් සිටි මහින්දගෙන් මාධ්‍යවේදීන් විමසූ විට පවසා තිබුණේ ඒ ගැන කිසිවක් මෙම සාකච්ඡාවේ දී අවධානයට ලක් නොවූ බවය.
ඇමෙරිකානු තානාපතිවරයා හමුවූ මහින්ද එදින සවස ගාල්ල බලා පිටත්ව ගියේ ඝාතනයට ලක්වූ කරන්දෙණිය ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමටය. මහින්ද සමග රමේෂ් පතිරණ හා මොහාන් සිල්වා යන මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.
“දැන් සර් පාතාලය නැවත හිස ඔසවලා. හැමතැනම මිනී මැරුම්. දකුණේ මිනිස්සුන්ට නිදහසේ ජීවත් වෙන්න තිබුණ ඉඩත් යහපාලන ආණ්ඩුව නිසා නැතිවුණා” රමේෂ් පැවැසුවේය.
“පාතාලය මර්දනය කරන්න බැරිවෙලා තියෙන්නේ දේශපාලනය කරන අය පාතාලයට උදව් කරන නිසයි. මේ ආණ්ඩුවේ ඉන්න සමහර ඇමැතිවරුන්ගේ හොඳම යාළුවෝ තමයි ඔය පාතා‍ලේ අය. ඒ නිසා ‍පොලීසියටත් වෙලා තියෙන්නේ සද්ද නැතිව ඉන්නයි” මහින්ද පැහැදිලි කළේය.
“සර්ගේ කතාව හරි. ‍පොල් ගෙඩියක් හොරකම් කළාත් ජීප් එකෙන් ඇවිත් ගහලා බැනලා රිමාන්ඩ් කරන ‍පොලීසිය පාතාලයෝ ඉස්සරහ පුදුම විදියට නිශ්ශබ්දයි. ‍පොලීසියෙන් කරදරයක් නෑ කියලා පාතා‍ලේ අයත් දන්නවා” මොහාන් කීය.
ගාල්ලේ සිට තංගල්ල බලා පිටත්ව ගිය මහින්ද ගම් ප්‍රදේශයේ පැවැති උත්සව කිහිපයකට සහභාගි වී කොළඹ බලා පැමිණියේ කැලණියේ සංවිධානය කර තිබූ ඉෆ්තාර් උත්සවයකට සහභාගි වීමටය. එහෙත් හදිසි අසනීප තත්ත්වයක් නිසා මහින්දට එයට සහභාගි වීමට නොහැකි විය. එහෙත් දුරකථනයෙන් එය සංවිධානය කළ පිරිස් සමග කතා කිරීමට මහින්ද අමතක කළේ නැත. බැසිල්ටද මෙයට ආරාධනා ලැබ තිබුණත් එයට සම්බන්ධ වීමට නොහැකි වූයේ කොන්දේ අමාරුවක් සෑදීම නිසාය.

විමල්ට බැසිල් කල්ලියේ විරෝධය

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීම මහින්දගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා පැවැත්වුණේ විජේරාම නිල නිවසේදීය. මෙවර පක්ෂ නායක රැස්වීම කැඳවා තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම සමග කටයුතු කරන ආකාරය පිළිබඳ සාකච්ඡා කිරීමටය.
“දහසය දෙනාගේ කණ්ඩායමක් නිර්මාණය වීම අපි ලබපු ජයග්‍රහණයක්. ඒ නිසා අපි ඒ අයට ඉහළ පිළිගැනීමක් දෙන්න ඕන කියමින්් විමල් දහසයේ කණ්ඩායම පිළිගත්තේය. එහෙත් විමල්ගේ කතාවට ඒකාබද්ධ විපක්ෂයේ බැසිල් කල්ලියේ මන්ත්‍රීවරුන්ගේ වැඩි කැමැත්තක් තිබුණේ නැත.
“දහසය දෙනාගේ කණ්ඩායමේ ඉන්න ඩිලාන් පෙරේරා කියලා තිබුණා හිටපු පක්ෂ ‍ලේකම් අයින් වෙලා අලුත් පක්ෂ ‍ලේකම් කෙනෙක් පත්වීම හොදයි කියලා. ඒත් අලුත් ‍ලේකම් කියන්නේ 2020 ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රී කියලයි. ඒ වගේ තත්ත්වයක් යටතේ් දහසයේ කණ්ඩායම එක්ක වැඩ කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා.
“මේ අදහස් නිසා ඒකාබද්ධය බෙදිලා කියලා කතා වෙනවා. අපි කවුරුත් අපේ මතවාද ප්‍රකාශ කරනකොට ප්‍රවේශම් වෙන්න ඕන. අපිට මොන මතවාද තිබුණත් සාකච්ඡා කරලා තීන්දු ගන්න ඕන”මහින්ද කීවේය.
“ආණ්ඩුවෙන් එළියට බැස්ස දහසය දෙනාගේ කණ්ඩායම විවිධ මත ප්‍රකාශ කරමින් යනවා. සමහරු කියන්නේ මහින්ද මහත්තයාට උදව් කරනවා කියලයි. තවත් සමහරු ‍පොහොට්ටුවේ ඡන්ද ටිකත් අරගෙන මහින්ද මහත්තයා ළඟට යනවා කියනවා. විපක්ෂයට ඇවිත් ජනාධිපතිතුමා එක්ක දේශපාලනය කරනවා නම් අපිට එකඟ වෙන්න බෑ”රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා පැවැසුවේය.
“කවුරුහරි ආණ්ඩුවෙන් අයින් වෙනවා නම් ඒ අය ශ්‍රී ලංකා ‍පො.පෙ. එන්න ඕන”කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා කතාවට ‍පොහොර දැම්මේය.
“දහසය දෙනාගේ කණ්ඩායමත් මේ ප්‍රශ්නය ගැන සාකච්ඡා කරමින් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි”මහින්ද කීවේය.
“අපි මේ බලවේගය හදාගත්තේ අමාරුවෙන්. ඒක විනාශ වෙන්න දෙන්න බෑ”රෝහිත කීවේය.
“ඒ කියන්නේ දහසය දෙනා අපි පිළිගන්න ඕන නෑ කියන එකද”විමල් වීරවංශ විමසුවේ තරමක ආවේගයෙන් යුතුවය.
“ඒ අය ප්‍රතික්ෂේප කරන්න කියලා අපි කියන්නේ නෑ”රෝහිත එයට උත්තර දුන්නේය.
මේ සමග තරමක උණුසුම් තත්ත්වයක් ඇතිවූ අතර බැසිල් අදහස් දක්වන්න විය.
“ඕන කෙනෙකුට අපේ පැත්තට එන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නෑ. හැබැයි කකුල් දෙක දෙපැත්තේ තියාගෙන ඉන්න බෑ. එනවනම් කෙළින්ම එන්න ඕන. ‍පොහොට්ටුවේ ජයග්‍රහණය ආපස්සට හරවන්න බෑ”බැසිල් තමන්ගේ මතය පැහැදිලි කළේය.

මහින්ද ළඟට ගිය හතරදෙනාගේ කල්ලිය

පසුගිය සතියේදී මහින්ද හමුවීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු සිව් දෙනෙක් ගියහ. ඒ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාරය. ඔවුන් සිව්දෙනා මහින්ද හමුවීමට අනෙක් මන්ත්‍රීවරු නොමැතිව ගියේ මේ වන විට ඇතිවෙමින් තිබෙන දේශපාලන අර්බුදය ගැන සාකච්ඡා කිරීමටය. සුදර්ශනී ප්‍රනාන්දුපුල්‍ලේ නියෝජ්‍ය කථානායක කිරීමට ගත් සටන ගැන ඔවුන්ගේ වැඩි අවධානයක් යොමුවිය.
“සුදර්ශනී දේශපාලන වශයෙන් කොතැනක හිටියත් විපක්ෂයට ඇවිත් ඉන්න වෙලාවක දේශපාලන එදිරිවාදිකම් තියෙන්න බැහැ. ජාතික දේශපාලනය සහ ප්‍රාදේශීය දේශපාලනය පටලවාගන්න ඕන නෑ. අපිට මේකට සහාය දෙන්න තිබුණා” විමල් කීවේය.
“ඔය මනුස්සයා නියෝජ්‍ය කථානායකකමට දාන්න කියලා කිව්වේ මමයි. දැන් එයා මගේ මූණවත් බලන්නේ නෑ. මට ඉල්ලන්න කිව්වේ මහින්ද මහත්තයා. ඒත් මට උදව් කළේ නෑ කියලා කියනවා. මම කියන දේ මේකේ ඇතුළේ අය අහන්නේත් නෑ” මහින්ද විමල් ඇතුළු කණ්ඩායම සමග කීවේ කලකිරීමෙන් යුතුවය.
ඔවුන් සිව් දෙනා හමුවීමෙන් පසුව එතැනට බැසිල්ද පැමිණ තිබුණි.
“ඔය දහසයේ කණ්ඩායම වැඩ කරන්නේ එක එක න්‍යායපත්‍රවලට අනුව. ඒ ගැන සැලකිලිමත්වෙලා කටයුතු කරන්න ඕන. සුදර්ශනී කියන්නේ ගම්පහ දේශපාලනයේදී අනික් පැත්තට වැඩ කළ කෙනෙක්” බැසිල් සුදර්ශනී විවේචනය කරන්න විය.
“ඔය සේරම පැත්තක තියන්න. ඒක නිසා තමයි අපි රැස්වීමක් තියලා තීන්දුවක් ගත්තේ. මම තීන්දුවක් අරගෙන සුදර්ශනීට උදව් කරන්න ඕන කියන එක ප්‍රසිද්ධ කළා. මගේ ඉල්ලීමට පිටින් අනික් අය වැඩ කළා. මම මේකේ නායකයා කියලා කියනවා. මම නායකයා නමෛයි නම් ඒක කියන්න. මට මේ මඟුල ඕන නෑ. මම ගිහින් වෙනම දේශපාලන පක්ෂයක් හදනවා. මම කියන දේ අහන්නේ නැතිනම් ඒක තමයි වෙන්නේ” මහින්ද කීවේ තර්ජනාත්මක ස්වරයෙනි.
“සුදර්ශනී දැම්මේ මම. එක එක කතා කිව්ව නිසා දෙමළ සන්ධානය රනිල්ගේ කීම අහලා ඡන්දය නොදී නැගිටලා ගියා. ජනතා විමුක්ති පෙරමුණත් ඡන්දය නොදී නැගිටලා ගියේ එක්සත් ජාතික පක්ෂයට උදව් කරන්න. අපේ අයත් ඡන්දය නොදී නැගිටලා ගිහින් රනිල්ට උදව් කළා. මෙහෙම දේශපාලනය කරන්න පුළුවන්ද” මහින්ද ඇසුවේය.
මේ සතියේදී කෙහෙළිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයාගේ නිවසේ පැවැති ඉෆ්තාර් උත්සවයක් අවසන්වීමෙන් පසුව එහි පැමිණ සිටි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාත් රැගෙන ලොහාන් රත්වත්තේගේ නිවසට ගිය මහින්ද රෑ බෝවන තුරුම කතා කර තිබුණේ මේ ප්‍රශ්නය ගැනය.

චන්දිම ගෝඨා ළඟට

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාගේ උපන්දිනය යෙදී තිබුණේ පසුගිය සතියේදීය. උපන්දිනය වෙනුවෙන් සාදය සංවිධානය වී තිබුණේ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ පුංචි බොරැල්‍ලේ නිවසේදීය. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායම වෙනුවෙන්ය.
උපන්දින සාදයට ගෝඨාභය රාජපක්ෂ පැමිණීමට නියමිත බව දේශපාලන ලෝකයේ කතා බහට ලක්ව තිබුණේ ඒ බව චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා තැනින් තැන ගොස් කීම නිසාය. එහෙත් එදින ගෝඨා හමුවීමට නොහැකි වූ නමුත් චන්දිම හා ජෝන් සෙනවිරත්න ගෝඨා හමුවීමට ගොස් තිබුණි.
“ඇමෙරිකානු පුරවැසිභාවය ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා ඇමෙරිකාව කියනවා. ඒක ප්‍රශ්නයක් නොවෙයිද” ජෝන් ඇසුවේය.
“ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඇමරිකාව එහෙම කටයුතු කරන්නේ නෑ” ගෝඨා කියා තිබුණේ සැහැල්ලුවෙනි.
ඔවුන් ගෝඨා හමුවීමට යාම ගැන ඩිලාන් පෙරේරා වැඩි කැමැත්තක් දක්වා තිබුණේ නැත.
“සමරුන්ට ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ හමුවෙලා ඒ අයට උපදෙස් ගන්න ඕන ඇති. ඔය තුවක්කුවෙන් වෙඩි තියන හැටි ගැන එහෙම උපදෙස් ගනීවි” ඩිලාන් කීවේ එම හමුවට ඇති අකමැත්ත ගැන පෙන්වමිනි.
මේ අතර දහසයේ කණ්ඩායම මෛත්‍රී හමුවීමටද ගියේය. ඒ මෛත්‍රීගේ නිල නිවසටය.
“ජනාධිපතිතුමනි, මහ‍ලේකම්තුමා ඉවත් කරලා අලුත් මහ‍ලේකම්තුමෙක් පත් කිරීම අපි පිළිගන්නවා. අප කරපු ඉල්ලීම
පිළිගත්ත එක ගැන සතුටුයි. අමරවීර ‍ලේකම්තුමා නම් කලින් ඉදපු ‍ලේකම්තුමා කියන විදියට තමයි වැඩ වෙන්නේ කියලා තිබුණා” ඩිලාන් කීවේය.
“පක්ෂ ව්‍යවස්ථාව ගැන දන්න අය ‍ලේකම්ට තියෙන බලයයි, ජාතික සංවිධායකට තියෙන බලයයි ගැන දන්නවා. මේ මහ‍ලේකම් තමයි මහ ‍ලේකම්. මහ‍ලේකම්ට වැඩ කිරීමට අවස්ථාව අපි දෙනවා” මෛත්‍රී කීවේය.
“ජනාධිපතිතුමා, මහින්ද මහත්තයා අගමැති කරන්න ඕන. අපි ශ්‍රී ලංකා ආණ්ඩුවකට යන්න ඕන” චන්දිම යෝජනා කළේය. එහෙත් ඒ ගැන මෛත්‍රිගෙන් පැහැදිලිි ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

රනිල් පසුගිය සතියේදී විදේශ සංචාරයකට සහභාගීවීමට ලංකාවෙන් පිටත්ව ගියේය. එහෙත් ඊට පෙර ඔහු මාත‍ලේ බලා පිටත්ව ගියේ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාල ගොඩනැගිල්ලක් විවෘත කිරීමටය. මාත‍ලේට ඔහු ගියේ වජිර අබේවර්ධන සමගය. ඔහු පිළිගත්තේ මාත‍ලේ සංවිධායක ප්‍රියාන් විජේරත්නය.
“මේ පැත්තේ සංචාරක කටයුතු වැඩි දියුණු කරන්න ඕන. ඔයාට ඒ පැත්තේ අත්දැකීම් තියෙනවානේ. ඒ නිසා ඒවාට අවශ්‍ය පියවර ගන්න” ප්‍රියාන්ට රනිල් උපදෙස් දුන්නේ ඔහු කණ්ඩලම හෝටලයේ හිටපු කළමනාකරු බැවිනි.
මේ අතර අධිවේගී මාර්ගය ඉදිකිරීම නිසා ඉඩම් අහිමිවන අය විරෝධතාවක් සංවිධානය කර තිබුණේ රනිල් එහි එන බව දැනගෙනය.
“ප්‍රියාන් මේ ගැනත් බලන්න. මේ හැමෝටම වන්දි දෙනවා කියලා දැනුවත් කරන්න” රනිල් ප්‍රියාන්ට උපදෙස් දුන්නේය.
මාත‍ලේ සිට පැමිණි රනිල් විදේශ සංචාරයක් සඳහා ලංකාවෙන් පිටත්ව ගියේය. බ්‍රහස්පතින්දා රාත්‍රියේදී ඔහු ලංකාවට පැමිණියේ පෞද්ගලික සංචාරයක් සඳහා ලන්ඩන් නුවරටද පිටත්ව යාමෙන් පසුවය.

තිලකජය
කාටූන් – අංජන ඉන්ද්‍රජිත්


Like it? Share with your friends!

-13
17 shares, -13 points

What's Your Reaction?

hate hate
0
hate
confused confused
1
confused
fail fail
1
fail
fun fun
0
fun
geeky geeky
0
geeky
love love
0
love
lol lol
0
lol
omg omg
0
omg
win win
0
win

0 Comments

Your email address will not be published. Required fields are marked *